සුශ්‍රැත නැවතත් මෙසේ කියයි.
ඉහ බල්වායුර්‍වෙද ප්‍රයෝජනං ව්‍යාධ්‍යුපසෘෂටානාං ව්‍යාධිපරිමෝක්ෂඃ ස්වස්ථස්‍යරක්ෂණංච.
“ රෝගයන්ගෙන් පීඩිත වූ අයගේ රෝග සුවකිරීමත්, නිරෝගී අයගේ සනීපාරක්ෂාව ආරක්ෂා කිරීමත්, මේ ආයුර්‍වෙද ශාස්ත්‍රයෙන් ඇති වන ප්‍රයෝජන වෙති.”
(සුශ්‍රැත සුත්‍ර අධ්‍යාය 01-12)
ආයුර්‍වෙද යන්නෙහි තවත් අදහසක් ඇත; එනම්, ආයුෂ පිළිබදව උපදෙස් දෙන “වේද” ශාස්ත්‍රය යනුයි.
වේද ශාස්ත්‍රය යනු, හින්දු භක්තියට අඩංගුවන “සූත්‍ර” හෙවත් “ආප්ත වචනද”, “උපනිෂද්” හෙවත් බ්‍රහ්ම පදාර්‍ථ ආරම්භය හා සත්වයාගේ උත්පත්තිය, මරණය, ආත්මය යනාදිය විස්තර කරන ශාස්ත්‍ර ද, “දර්ශණ” හෙවත් මනෝවිද්‍යාවද, උගන්වන ශාස්ත්‍රය වේ.
“වේද” ශාස්ත්‍ර සතරකි. එනම් “සෘග්වේද, යජුර්‍වෙද, සාමවේද, අථර්වවෙද” යන හතරය. මෙයට “චතුර්‍වෙද” යයි කියනු ලැබේ. මේ චතුර්‍වෙද අතුරෙන් අථර්‍වවේදය ඉතාමත් නූතනම වේද ශාස්ත්‍රය වේ. අනිත් “වේද” තුන හෙවත් “ත්‍රිවේද” යෙන්ම කරුණු එකතුකොට “ව්‍යාස” සෘෂීන් විසින් අථර්‍ව වේදය සම්පාදනය කරන ලද්දේයයි කියනු ලැබේ.
වේද ශාස්ත්‍රයෙහි, ඉහත කියන ලද පරිදි සූත්‍ර, උපනිෂද්, ආදිය හැර තවත් “උපවේද” යන නමින් ශාස්ත්‍ර කීපයක් විස්තකර තිබේ. ආයුර්‍වෙද ශාස්ත්‍රයද මේ උපවේද අතුරෙන් එක් උපවේදයකැයි ‘සුශ්‍රැත” පෙන්වාදී තිබේ.
ඉහ ඛල්වායුර්‍වෙදො නාම යදුපාංග මථර්‍වවෙදස්‍යා නුත්පාද්‍යෛාච ප්‍රජාඃ ශ්ලොකශතසහස්‍ර මධ්‍යාය සහස්‍රංච කෘතවාන් සවයම්භඃ
(සුශ්‍රැත සුත්‍ර 1-3)
“සකල ලොක සත්වයාගේම යහපත පිණිස, අථර්ව වේදයෙහි උපාංගයක් වු මේ අයුර්‍වෙද ශාස්ත්‍රය, ශ්ලොක ලක්ෂයක් සහ අධ්‍යාය දහසකින් ද සමන්විත කොට මහා බ්‍රහ්මයා විසින් විස්තර කරන ලද්දේය” යනුයි.
ආයුර්වේද ශාස්ත්‍රය “සෘග් වේද” යෙහි උපාංගයක් වශයෙන්ද සෘග්වේදයෙහි දක්වා තිබේ. එහි පෙන්වා තිබෙන පරිදි ආයුර්‍වෙදය ඊශ්වරයා විසින් උගන්වන ලද ශාස්ත්‍රයකි. “කෛලාශ ශිඛරෙ රම්‍යෙ පර්‍වතී පරමෙශ්වරෞ” යනාදි වශයෙන් දීර්‍ඝ විස්තරයක් කරමින් ස්වීය භාර්‍ය්‍යව වූ පෘර්‍වතියට ඊශ්වරයා වෛද්‍ය ශාස්ත්‍රය ගෙනඑන ලද්දේය යි විස්තර කෙරේ. සෘෂී යුගයට පෙරද ආයුර්වේද ශාස්ත්‍රයක් තිබුන බැව් “චරක” ආචාර්ය්යවරයා පවා විස්තර කර තිබේ.
සෝ’යමායුර්වෙදඃ ශාශවතො නිර්දිශ්‍යතේ, අනාදිත්වාත්
(චරක සුත්‍ර 30-27)
“එනම්, “ මේ වෛද්‍ය ශාස්ත්‍රය නිත්‍ය වේ; මක්නිසාද? මේ ශාස්ත්‍රයෙහි පටන්ගැනිමක් හෙවත් ආදියක් (හෝ අන්තයක්) පෙණෙන්නට නැති හෙයිනි” යනුයි හෙවත්, යම්තාක් කල් මනුෂ්‍යයා මේ ලෝකයේ ජීවත්ව සිටියේ නම් ඒ තාක් කල් රෝග නිවාරණය පිණිස යම්කිසි වෛද්‍ය ශාස්ත්‍රයක් ද පැවතුනබැව් පෙන්වීමට එසේ කියා තිබේ.
වෛද්‍ය ශාස්ත්‍රය දෙවියන්ගෙන්ම ලැබිණ දෙයක් වශයෙන් පෙන්වාදීම ආයුවේද ශාස්ත්‍රයෙහි පමණක් නොව ලෝකයේ බෙහෝ රටවල්වල වෛද්‍ය ශාස්ත්‍ර ගැන යමක් ග්‍රන්ථාරූඪ කරන විට පෙන්වා දී තිබෙන, එමෙන්ම භක්තිය ඇති කිරීම පිණිස ගෙනහැර පෑ කරුණකි. ග්රිසියේ “ඇපොලෝ” නම් දෙවියා ද, මිසරයේ “ඉසිස්” (ඉසි යයි ද භාවිතය) නම් දිව්‍යප්සරාව ද වෛද්‍ය ශාස්ත්‍රය ලෝකයට දුන්නේය යි කියන කීම් නිදර්‍ශන වෙත්.
ආයුර්‍වෙද ශාස්ත්‍රයෙහි ද බොහෝ තෙල් බෙහෙත් වර්‍ග ආදිය ඒ ඒ දෙවියන්ගෙන් ලැබුණුදැ මෙන් විස්තර කෙරෙත්. නිදර්‍ශන නම්, නාරායන තෛලය, විෂ්ණු තෛලය ආදිය විෂ්ණු දෙවියාගෙන්ද, භාෂ්කර ලවණ ආදිය සුර්‍ය්‍ය දෙවියාගෙන් ද, මකරධ්වජය අණංගයා ගෙන්ද යනාදී වශයෙන් ඒ ඒ බෙහෙත් තෙල් ආදිය නොයෙක් දෙවියන්ගෙන් ලත් ඖෂධ මෙන් පෙන්වා දී තිබේ.
ආයුර්‍වෙද ශාස්ත්‍රයද නවීන වෛද්‍ය ශාස්ත්‍රය මෙන්ම නොයෙක් ශාඛාවන්ට වෙන්කර තිබේ. ඒ ඒ ශාඛාවන් සහිතව ම, ආයුර්‍වෙද ශාස්ත්‍රය පළමුව දෙකොටසකට වෙන්වේ.
එනම්, ශල්‍ය වෛද්‍ය ක්‍රමය හෙවත් ශල්‍ය කර්‍මයකින් පමණක් සුව කලහැකි රෝග පිළිබද විස්තරයද, කාය චිකිත්සා හෙවත් සර්‍වාංග වෙදකම යන නමින් හැදින්වෙන ශල්‍යකර්‍ම නොකොට ඖෂධ යෙදීමෙන් පමණක් සුව කරගතහැකි රෝග පිළිබද වු චිකිත්සා විස්තරද වෙත්.
මින් ශල්‍ය වෛද්‍ය ක්‍රමය පිළිබද වු චිකිත්සා ක්‍රමයේ ප්‍රධානියා වූයේ “ධන්වන්තරී” නම් සෘෂිවරයාය.
කාය චිකිත්සා ක්‍රමයේ ප්‍රධානියා වූයේ “ආත්‍රේය” නම් සෘෂිවරයාය.
“දෙවියන්ගෙන්ම වෛද්‍ය ශාස්ත්‍රය ලැබුණේය” යි යන කියමන කියන මේ දෙපක්ෂයම, වෛද්‍ය ශාස්ත්‍රය මනුලොවට ලැබීම පිළිබදව කරන විස්තරය එකහා සමාන නොවේ. “ධන්වන්තරී සම්ප්‍රදාය” ය යි සම්මත ශල්‍ය වෛද්‍ය ක්‍රමය මනුලොවට පැමිණි ආකාරය විස්තර කරන “ධන්වන්තරී” සෘෂිවරයා මෙසේ පවසයි.
අහංහි ධන්වන්තරිරාදි දේවො – ජරාරුජා මෘත්‍යුහරොමරාණාම්
ශල්‍යාංග මංගෛරපරෛ රුපෙතං – ප්රාප්තො ස්මි ගාං භූය ඉහොපදෙෂ්ටුම්.
(සුශ්‍රැත සූත්‍ර 1-17)
එනම් “ ආදි දෙවි” වූ හෙවත්, මින් පෙර ආත්මයේදී දෙවියෙක්ව සිටි , “ධන්වන්තරී” වන මම, දෙවියෙක්ව සිටියදී, දෙවියන්ගේ ජරා, රෝග, මරණ වලකාලීමේ හා සුව කිරිමේ වෛද්‍ය කර්මයෙහි නියුක්තව සිටියෙමි. මනුලොව මනුෂ්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස ශල්‍ය ශාස්ත්‍රය සහිත සියළුම අංගයන්ගෙන් සම්පූර්ණ වෛද්‍ය ශාස්ත්‍රය ඉගැන්වීම පිණිස දෙව්ලොවින් මනුලොවට පැමිණියෙමි” යනුයි. හෙවත් තමාද “දෙවියෙකැ” යි ධන්වන්තරී පෙන්වා දෙයි.
කාය චිකිත්සා සම්ප්‍රදාය හෙවත් “ආත්‍රේය සම්ප්‍රදාය” යන නමින් ප්‍රසිද්ධ සර්‍වාංග වෙදකම පිළිබද ආරම්භය මීට වෙනස්ය. සෘෂි යුගයට පෙරද වෛද්‍ය ශාස්ත්‍රයක් තිබුණ බැව් පෙන්වන චරක සංහිතාවෙහි පෙන්වා දී ඇති පරිදි, එහි විසතරය මෙසේයි.
“එකල තිබුනු වෛද්‍ය ශාස්ත්‍ර ක්‍රමයෙන්” සුවකල නොහැකි වූ වසංගත රෝගයන් සෘෂියුගයේදී ඇතිවිය. එය විස්තර කරන චරක මෙසේ කියයි.
විඝ්නභූතා යදා රොගාඃ ප්‍රාදූර්භූත ශරීරාණාම් – තපොපවාසාධ්යයන බ්‍රහ්මචර්‍ය්‍ය ව්‍රතායුෂම්
තදාභූතේෂව නුක්‍රෝශාං පුරස්කෘත්‍ය මහාර්ෂයඃ – සමේතාඃ පුණ්‍යකර්‍මාණඃ පාර්ශ්වෙහිමවතඃ ශුභේ.
(චරක සූත්‍ර 1-06)